වර්ධනයේ සන්ධිස්ථාන - දරුවාගේ නව ඇරඹුමට සූදානම් කිරීම සහ සහාය වීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වර්ධනයේ සන්ධිස්ථාන - දරුවාගේ නව ඇරඹුමට සූදානම් කිරීම සහ සහාය වීම

Nimali Buthpitiya

img

ඔබේ සිඟිත්තා අවුරුදු 4ට එළැඹීමත් සමඟ තරමක් දඟකාර හැසිරීම් පෙන්නුම් කරනවා. එක් තැනකට වී නිසොල්මනේ සිටීමට වඩා දුවපැන ඇවිදින්නටත් අලුත් අලුත් විනෝදාත්මක දේ සොයා යන්නටත් උත්සහ කරනවා. මාස 48-54 කාල සීමාව තුළ දරුවෙකුට තනි කකුලෙන් තත්පර 10කට වඩා සිටගෙන සිටීමටත් පුළුවන්. මාස 54-60 කාල සීමාවේ නම් හොඳින් පැනීමේ හා දිවීමේ හැකියාව ද තිබෙනවා.

මෙම වයසේ දී දරුවා හොඳ නරක පිළිබඳ මූලික අවබෝධයක් ද ලබන අතරම නිවසේ ඔහු වටා සිදුවන දේ අනුකරණය කිරීමෙන් විනෝදයක් ලැබීමටත් පෙළඹෙනවා. මෙන්න මේ වයස තමයි දරුවාගේ සතුට වෙනුවෙන් ඔබේ ශක්තිය කැප කළ යුතුම කාලය. මාස 48-54 කාල සීමාවේ දී ඔවුන්ට සරල විධාන දෙකක් හෝ තුනක් එකවර පිළිපැදීමේ හැකියාව තිබෙනවා. 

img

මේ වයසේ දරුවෙකුගෙන් ඇසිය හැකි ඉතාම සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්නයක් තමයි ‘ඔයාගෙ නම මොකක්ද?’ කියා විමසීම. අලුතෙන් මුණගැහුණු කෙනෙකු දරුවාගෙන් නම විමසූ විට ආඩම්බරයෙන් සිනාමුසුව ඊට පිළිතුරු දෙන අයුරු ඔබට දැක ඇති. අකුරු ලිවීමට හුරු කරවීමෙන් පසු දරුවාට තමාගේ නම ලිවීමට පුරුදු කරන්න. ඔහු එයින් ලොකු විනෝදයක් ලබනවා වගේම ඉඩක් ලැබුණු විටක තම දස්කම අන්‍ අයට ද පෙන්වා සතුටු වනු ඔබට දකින්න ලැබේවි. මාස 48-54 අතර වයසේ පසුවන දරුවන්ට තමාගේ නමේ මුල් කොටස ලිවීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම, වයස අවුරුදු 4 පමණ දරුවන් නිර්මාණාත්මක හා විනෝදජනක ක්‍රියාකාරකම් සඳහා වැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසා දරුවාට ඔහුගේ/ඇයගේ අදහස් නිදහසේ ඉදිරිපත් කරන්න ඉඩ සලසන්න. ඇතැම් විට ඔබේ දරුවා ඔබ කිසිවිටෙකත් නොසිතන විදියේ අමුතු අදහස් ඉදිරිපත් කරාවි. ශරීරයේ කොටස් ගැන සහ ඒවායේ භාවිතයන් පිළිබඳව ද දැනුමක් දරුවාට ලබා දෙන්න. උදාහරණයක් විදියට, අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් බව දැන ගැනීමට තරම් මේ වයසේ දී ඔහුගේ බුද්ධිය ප්‍රමාණවත්.

මාස 48-54 වයසේ පසුවන ඔබේ පුංචි සිත්තරාට අවම වශයෙන් හිස, මුහුණ, අත් සහ කකුල් ඇතුළු ශරීර කොටස් තුනත් පහත් අතර ගණනක් ඇති සරල මිනිස් රුවක් ඇඳීමේ හැකියාව තියෙනවා. රේඛා දිගේ පින්තූරයක් කැපීමේ හැකියාවත් මේ වයසේ සිට දියුණු කළ හැකියි. මාස 54-60 වයස් සීමාවේදී දරුවන්ට ත්‍රිකෝණ වැනි සංකීර්ණ හැඩතල අඳින්නත්, හඳුනාගත හැකි ආකාරයෙන් මල්, බල්ලන් හා පූසන් වැනි රූප ද ඇඳිය හැකියි

img
 

ඔබේ දරුවා තමා අවට ලෝකය දෙස විමසිල්ලෙන් බලන කාලයක් නිසා ඔහුගේ කුතුහලය වැඩි වෙනවා. ඔහු තම නිර්මාණශීලී හැකියාවෙන් තමන්ගේම කතා ගෙතීමට සහ ඒවා කීමට දක්වන හැකියාව ඔබව විස්මයට පත් කරාවි. මාස 48-54 වයසේ දරුවන්ට කතාවක් මතකයෙන් නැවත කීමේ හැකියාව තිබෙනවා. වාක්‍ය ඛණ්ඩ කතා කිරීමේ හැකියාවත් සමඟ දරුවා තුළ පොත් කියවීමේ කුසලතාවත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. වයස 54-60 කාල සීමාවේ දරුවන්ට අකුරු කිහිපයක් මතකයෙන් කියවීමට හැකියි

මේ සියලු වර්ධනයන් සමඟ ඔබේ දඟකාරයා පාසැල් යන වයසටත් ළඟා වෙන්නෙ ඔබටත් නොදැනීමයි. මේ දිනවල උදෑසන කලබලයෙන් පාසැල් බස් රථය අල්ලා ගැනීමට දුවන එක හුරු වෙන්න නම් ඔහුට යම් කාලයක් ගත වේවි. මේ වයසේදී ඔබට ලැබෙන තවත් පහසුවක් තමයි දරුවාට තනිවම පාසැල් නිල ඇඳුම හැඳපැළඳ ගැනීමේ හැකියාව ලැබීම. මාස 54-60 වයසේදී දරුවාට තනිවම ඇඳුමේ බොත්තම් දැමීම හා ගැලවීමත් කළ හැකියි.

img

ඔබේ තුරුලේ හුරතල් වෙමින් නිදාගත් සිඟිත්තා දැන් තනිවම දුවපැන ඇවිදින හැඳපැළඳ ගැනීමට හැකි දරුවෙකු බව දැකීමෙන් ඔබට යම් දුකක් ඇති වන්නටත් පුළුවන්. බහ තෝරන වියේදී ළදරු විලාසයෙන් කතා කළ සිඟිති වදන් වෙනුවට පෙරපාසැලට ඇතුළත් කිරීමෙන් පසු දරුවාගේ කථන හැකියාව හා වචන මාලාව වේගයෙන් වර්ධනය වන ආකාරයත්, නොනවත්වා කතා කරන ස්වභාවයක් ද දැක ගැනීමට හැකි වේවි. මාස 54-60 වයසේදී දරුවාට කථනයේ සියලු කොටස් ඇතුළත්ව වචන පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක වාක්‍යයක් කතා කිරීමේ හැකියාව ද ලැබෙනවා. 

ඔබේ දරුවා පසුවන්නේ කුතුහලය පිරුණු වයසකයි. දකින දේවල් සම්බන්ධයෙන් නිතරම ඇයි? සහ කොහොමද? යන ප්‍රශ්න ඔවුන් තුළ මතු වෙනවා. ඔබට පිළිතුරු ඇති ප්‍රශ්නවලටත් වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් නොකඩවා අසන්නට මේ වයසේ දරුවන් පෙළඹීම සාමාන්‍යයි. ඒ වගේම අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් ඔවුන්ට හොඳ හැකියාවක් තිබෙනවා. මාස 54-60 වයසේ දරුවන් යමක තේරුම සහ හේතුව වැනි ඉතා ගැඹුරු ප්‍රශ්න පවා විමසීමට තරම් බුද්ධිමත් බවකින් යුක්තයි. ඇයි? යනුවෙන් අසන ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරක් දීමටත් මේ වයසේ දරුවන්ට හැකියාවක් තිබෙනවා. 

Recommended Articles