ක්‍රීඩා පාදක ඉගෙනුම : ඉගෙනීමේ නව ක්‍රමයක්

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ක්‍රීඩා පාදක ඉගෙනුම : ඉගෙනීමේ නව ක්‍රමයක්

Dinusha Manjarie Wickremesekera

නිවසේ සිට වැඩ කිරීම, නිවසේ සිට ඉගෙනීම, ගුරුවරු සහ සම වයස් කණ්ඩායම් නැතිව ඉගෙනීම දරුවාට ලොකු අභියෝගයක්. විෂය මාලාවන් ආවරණය වුනත් නිශ්චිත විවේක කාලයක් නැති මේ ක්‍රමය තරමක් දුෂ්කර බවක් ඇති කරනවා. විවේක කාලය කියන්නේ පාසැල් දිනයක ඇති වැදගත්ම වෙලාවක්. ළමුන්ට එකට සෙල්ලම් කරන්නේ විවේක කාලයේදියි. මේ තමයි ලාබාල වියේ සිටම අපි කවුරුත් හුරු වී ඇති රටාව. මේ ආකාරයට පාසැල් අධ්‍යාපනය සැලසුම් කරන්නත් හේතුවක් තිබෙනවා. ඒ තමයි සෙල්ලම් කිරීම තුළින් අධ්‍යාපනයට වගේම සමාජ චිත්තවේග ඉගෙනීමටත් උපකාර ලැබීම. 

හාවර්ඩ් සරසවිය විසින් සිදු කළ දිගු කාලීන පර්යේෂණයකින් හෙළි වී ඇති ආකාරයට, සාර්ථක ජීවිතයක තිබිය යුතු වැදගත්ම අංගයක් වන්නේ අප ඇති කරගන්නා සම්බන්ධතාවන්. යහපත් සම්බන්ධතා අපට ආරක්ෂාව, සතුට, දීර්ඝායුෂ මෙන්ම අපේ ඉලක්ක වෙනුවෙන් ද උපකාර ලබා දෙනවා. දරුවා සෙල්ලම් කරන වේලාව වඩා වැදගත් වන්නේ එමඟින් දරුවාට සැහැල්ලු පරිසරයක් තුළ මිත්‍රශීලීත්වය ඇති කරගැනීමට මඟ පාදන නිසයි. 

වසංගතයේ බලපෑමත් සමඟ අප මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වුනේ අපට තිබූ සැහැල්ලු බව අහිමි වීමයි. එසේත් නැත්නම් සැහැල්ලු වීමට තරම් අපට වෙලාවක් නැති වීමයි. පාසැල් ජීවිතය අප සිතනවාට වඩා වෙනස් එකක්. එහි වැඩිම අවධානයක් යොදවන්නේ අධ්‍යාපනික ජයග්‍රහණ ලබා ගැනීම සඳහායි. සෙල්ලම් කිරීමේ වේලාව කෙටි මොහොතකට සීමා වුනත් සම වයස් පිරිස් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් මේ තුළින් දරුවාට ලැබෙනවා. මේ වේලාව අහිමි වීමෙන් දරුවාට පාරිසරික සාධක තුළින් ලැබෙන උත්තේජනයන්, චලන සහ අන්තර්ක්‍රියාවන් ද අහිමි වීමේ අවදානමක් ඇති වීමට පුළුවන්.

growingup

දරුවාගේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ පරිසරයයි. චලන සහ ක්‍රියාකාරකම් තුළින් දරුවා උද්යෝගයෙන් යුතුව යම් යම් දේ කරන ආකාරය විනෝදයෙන් ‌ඉගෙන ගන්නවා. කායික වෙහෙසක් දැනෙන විට සුවපහසු නින්දක් ලැබීමත් දරුවෙකුට අත්‍යවශ්‍ය කාරණයක්.  සම වයස් අන්තර් ක්‍රියා, මිතුරන් ඇති කර ගැනීම, අඬදබර වීම සහ උත්තේජන ලැබීම ඔවුන්ගේ සමාජ හා චිත්තවේගීය වර්ධනය වේගවත් කරනවා.

සෙල්ලම් කරන විට දරුවන් ඔවුන්ගේ පරිකල්පනය යොදාගෙන විවිධ අවස්ථාවන් නිර්මාණය කර ගන්නවා, අභියෝග පරාජය කරනවා. ඉතා කුඩා ඉඩකඩක් වුනත් සෙල්ලමකට ප්‍රමාණවත්. අනෙක් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ කුසලතාව ඔවුන් සෙල්ලම් කිරීම හරහා ළඟා කරගන්නවා.

සෙල්ලම් කිරීම දරුවාගේ වර්ධනය වගේම අධ්‍යාපනයත් ඉහළ නැංවීමට හේතුවක්. ඉගෙන ගැනීම සිදු වන්නේ පන්ති කාමරයේ පමණක් නොවෙනවා වගේම පන්ති කාමරය ඉගෙනීමත් අනෙක් සියල්ලෙන් ස්වාධීනව සිදු වන්නක් නෙවෙයි. දරුවාගේ වර්ධනය සිදු වන්නේ සුවිශේෂී ක්‍රමවේදයකට අනුවයි. පළමුව ඉන්ද්‍රියයන් සහ භෞතික ශරීරයත්, පසුව බුද්ධිමය, සමාජීය සහ චිත්තවේගීය වර්ධනයත් සිදු වෙනවා. ශරීරය සහජයෙන්ම මනස සමඟ බැඳී පවතින්නක් වන අතර මනස සහ ශරීරය වර්ධනය වීම සිදු වන්නේ එකටයි.

සෙල්ලම් කිරීම කය සහ මනස දෙකටම හොඳ උත්තේජනයක්. දරුවාගේ වයස සහ වර්ධන මට්ටම අනුව අධ්‍යාපනයෙන් ඉහළ ඵල නෙලා ගන්නත්, අලුත් කුසලතා හුරු කරගන්න වගේම තිබෙන කුසලතා දියුණු කරගන්නත් සෙල්ලම් කිරීම අත්‍යවශ්‍යයි.

ක්‍රීඩා කරන අතරතුර දරුවන් නොසන්සුන්තාවයේ සිට ක්‍රියාශීලී ස්වයං-විඥානයක් කරා මාරු වන ආකාරය ඔබ දැක ඇති. මේ අවස්ථාවේ ඔවුන්ගේ කිසිම ආතතියක් පෙනෙන්නට නැහැ. සෙල්ලම් කිරීම මඟින් දරුවන්ගේ අවදානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කරන අතරම යම් කාර්යයක නියැලී සිටින දරුවන්ටත් යහපත් බලපෑමක් මේ තුළින් ලැබෙනවා. කාංසාව අඩු වන විට, අවදානය වැඩි වීම නිසා වැඩිහිටියෙකුට වුවත් ඉගෙනීමට සුදුසු මානසිකත්වයක් ඇති වෙනවා.

සෙල්ලම් කිරීම ළමයා අරමුණු කරගනිමින් සිදු කළ හැකියි. මෙහිදී ඔවුන් අවදානය යොමු කරන්නේ සෙල්ලමේ ඊළඟ කාර්යය වෙතයි. මෙසේ දරුවා සෙල්ලම් කරන ආකාරය දෙස බලා සිටීමෙන් ඔහුගේ/ඇයගේ මනාපයන්, අවදානය යොමු කිරීමේ කාලය වැනි බොහෝ දේ ඔබට දැනගන්නට හැකි වේවි. සෙල්ලම් කිරීම තුළින් දරුවාගේ පරිකල්පනය ක්‍රියාකාරී වෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය සීමා වෙනවා. දරුවන් ස්වභාවයෙන්ම කුතුහලයෙන් යුතු පිරිසක් වන නිසා ගවේෂණය සඳහා ද ඔවුන්ට හොඳ උත්තේජනයක් ලැබෙනවා.

සමහර සෙල්ලම් නීති රීති සහිත ඒවා විය හැකියි. නීති රීති පැවතීම නිසා පුරෝකථනයන් කිරීමේ හැකියාව ලැබෙන අතරම එය දරුවාගේ හැසිරීම්වලට මඟ පෙන්වීමටත් හේතු වෙනවා. කොයි ආකාරයෙන් බැලුවත්, සෙල්ලම් කිරීම නිසා දරුවාට පරිසරය ගවේෂණය කිරීමට හා අන් අය සමඟ සම්බන්ධ වීම පිළිබඳ ඇති අවබෝධය පුළුල් කරගැනීමට අවස්ථාව සලසනවා.

චිත්‍ර ඇඳීම, පාට කිරීම, සංගීතය, නර්තනය, රූකඩ නිර්මාණය සහ රූකඩ නැටවීම (රූකඩ පහසුවෙන් නිර්මාණය කරන ආකාරය අන්තර්ජාලයෙන් සොයාගත හැකිය), මැටි ආදී ඕනෑම ආකාරයකට දරුවාට සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දෙන්න. එළිමහනේ කළ හැකි සෙල්ලමක් නම් එය වඩාත් උචිතයි.   
 

පරිසරය සමඟ සම්බන්ධ වීම ඉතා හොඳ දෙයක්. අපේ යහපැවැත්මට පමණක් නොව වටිනාකම් වර්ධනයටත් පරිසරයෙන් ධනාත්මක බලපෑම් ලැබෙනවා.

සෙල්ලම් කිරීම තුළින් ඔරොත්තු දීමේ හැකියාව සහ යහපැවැත්ම ගොඩනැඟීමත් සිදු වෙනවා. මේ අවිනිශ්චිත කාල සීමාව ඔබටත් ඔබේ දරුවාටත් දුෂ්කර ගමනක් වන්නට පුළුවන්. දරුවන් තරුණ වියට එළැඹීම තුළ ඔබේ මාපියභාවයත් සමඟ මේ වටිනා කාලය උපරිමයෙන් විඳින්න. 

ඉඟිය - දරුවන් සෙල්ලම් කරන විට තමන් ගැන හෝ තමන් කැමති දෙයක් ගැන විස්තර කිරීමේදී සතුට, ප්‍රීතිය මුසු හැඟීම් මාලාවක් ඔවුන් කෙරෙන් ප්‍රකට වනු නිරීක්ෂණය කළ හැකි වනු ඇත. 

“ප්‍රීතිමත් ළමයි සෙල්ලම් කරනවා, සෙල්ලම් කරන ළමයි සතුටින් ඉන්නවා”

Recommended Articles