දරුවන්ගේ සමාජ සබඳතා නැවත ගොඩනඟන්නට සහාය වෙමු

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දරුවන්ගේ සමාජ සබඳතා නැවත ගොඩනඟන්නට සහාය වෙමු

Nimali Buthpitiya

img

වසංගත ව්‍යාප්තියත් සමඟ අපට නව සාමාන්‍යකරණ ජීවන රටාවක් වෙත යොමු වෙන්න සිදු වුනා. අනාගතය ගැන යම් අනියත බවක් තිබුනත් අපි හැකි පමණින් නැවතත් අපේ සුපුරුදු ජීවන ගමන අරඹන්න උත්සාහ ගනිමින් ඉන්නවා. එය ජීවිතයේ මඟ හැරිය නොහැකි දෙයක්. දරුවන් සිටින දෙමාපියන්ට නැවතත් අභියෝගාත්මක කාලයකට මුහුණ දෙන්න සිදු වෙලා. සැලකිය යුතු කාලයක් තිස්සේ නිවසේ සිට අධ්‍යාපනය හැදෑරූ දරුවන්ට නැවතත් පාසැල් යන්න කාලය ඇවිත්. පාසැල් නිවාඩු කාලයකට පස්සෙ දරුවන් පාසැල් යන්න ටිකක් අදිමදි කරන එක සාමාන්‍ය ස්වභාවයක්. මේ කාලෙදි පාසැල් නිවාඩු කාලයේ ලැබූ අත්දැකීම් රසවිඳින්න දරුවන් වැඩි උනන්දුවක් දක්වන අතරම පාසැල් පරිසරයට තරමක නුහුරු සහ මිත්‍රශීලී නොවන ගතියකුත් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය ටිකක් බරපතල විදියට මේ වතාවෙදි අත්දකින්න ලැබුණේ දරුවන් දීර්ඝ කාලයක් බාහිර සමාජ ආශ්‍රයකින් තොරව හිටපු නිසයි. 

ඔවුන්ට තිබුණු එකම ඉඩකඩ වුනේ සමාජ මාධ්‍ය හරහා ඥාති හිත මිතුරන් ඇසුරු කිරීම පමණයි. කෙසේ වෙතත්, දරුවන්ට මේ සංක්‍රාන්ති සමය ගෙවාගන්න අමතර උපකාරයක් ලබා දිය යුතු බව වැඩිහිටි අප වටහා ගන්න අවශ්‍යයි. අප අනුගත වූ ආකාරයට නැවතත් ඔවුන් සාමාන්‍ය ජීවන රටාවට හුරු කිරීම කළ යුතුයි. ඔවුන්ගේ සමාජ සබඳතා නැවත ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒ සඳහා ඔවුන් දිරිමත් කිරීමත් වැඩිහිටි අපෙන් ඉටු විය යුතු යුතුකමක්. හිතමිතුරන් සහ සමවයස් කණ්ඩායම් සමඟ එකට එක්ව විනෝද වීමේ අවස්ථාව ඔවුන්ට හිමි කර දීම මඟින් ඔවුන්ට නැවතත් සාමාන්‍ය ජීවිතය ඇරඹීමට උත්තේජනයක් සපයනු නොඅනුමානයි.

දරුවන් නැවත සමාජයට මුහු කිරීම සඳහා දෙමාපියන්ට ගත හැකි ක්‍රියාමාර්ග

  • අන්‍යන් හා සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම

ක්‍රියාකාරකම් කියන්නෙ සමාජ සබඳතා වර්ධනයට ඉවහල් වෙන පුදුමාකාර දෙයක්. දරුවන්ට අසල්වැසි නිවෙස්වල හෝ පාසැලේ මිතුරන් සමඟ නිවාඩු දිනවල, සතිඅන්තවල සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දෙන්න. ක්‍රීඩා සමාජ, ක්‍රීඩා කණ්ඩායම්වලට දරුවන් යොමු කරවන්න. ඒ හරහා ඔවුන් අලුත් මිතුරු සබඳතා ගොඩනඟා ගනීවි. ක්‍රීඩා සඳහා යොමු වීම දරුවන්ගේ සෞඛ්‍යයටත් හිතකර කරුණක්.

img

  • හොඳ සන්නිවේදකයන් වීමට ඔවුන්ට සහාය වන්න

සමාජ කුසලතා තමයි දරුවන් හොඳ සන්නිවේදකයන් බවට පත් කරන්නට වැඩියෙන්ම ඉවහල් වෙන්නෙ. හැඟීම් ප්‍රකාශනය සමාජ සංවර්ධනයේදී මූලික කරුණක් විදියටත් සැලකෙනවා. සංගීතය, නැටුම් හෝ චිත්‍ර වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම්වලට උනන්දුවක් දක්වන දරුවන් ඒ හා සමාන හැකියාවන් ඇති දරුවන් සිටින කණ්ඩායම් වෙත යොමු කරන්න. පාසැල් වැඩකටයුතුවලට බාධා නොවන අන්දමට දරුවන් වඩාත් ප්‍රිය කරන විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වන අලුත් පන්ති, මිතුරු සමාජ සඳහා යොමු කරන්න. අලුත් මිතුරු සබඳතා ඇති කරගන්නත්, අදහස් බෙදාහදා ගන්නත් ඔවුන්ට එය හොඳ පිටිවහලක් වේවි.

  • විවෘත සාකච්ඡා පවත්වන්න

දිනපතාම දරුවා සමඟ විවෘතව නිදහසේ කතාබහ කිරීමට වෙලාවක් වෙන් කරගන්න. ඔවුන්ගේ දවස ගෙවුණු හැටි සහ ඔවුන් කැමති අකමැති දේවල් ගැන කතා කරන්න ඔවුන්ට අවස්ථාවක් දෙන්න. ඔවුන්ගේ දුක්ගැනවිලි විමසන්න. ඔවුන්ගේ ගැටලුවලට පිළිතුරු දෙන්න. මේ තුළින් ඔවුන්ගේ සිතැඟි මනා ලෙස අවබෝධ කරගන්නත්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නත්, ඔවුන් ආකල්පමය අතින් සවිමත් කරන්නත් ඔබට නිසැකවම හැකි වේවි. සමස්තයක් ලෙස දරුවාගේ සමාජ කුසලතා සංවර්ධනයට මෙමඟින් මහඟු රුකුලක් ලැබෙනු නිසැකයි.

img

 

  • පවුලේ වේලාව, චාරිකා සහ අමුත්තෝ

වසංගතය නිසා අපේ සමාජ සබඳතා දුරස් වුනා පමණක් නෙවෙයි, සැලසුම් කළ වැඩකටයුතු සහ විනෝද චාරිකා වගේ දේවලුත් මඟහරින්න අපට සිදු වුනා. නෑදෑයින් නිවසට පැමිණීම හෝ කල් දමන්නට සිදුවුණු චාරිකාවක් නැවත සැලසුම් කිරීම වගේ දෙයක් දරුවන්ගේ විනෝදයටත් උද්යෝගයටත් හොඳ හේතුවක්. දෙමාපියන් නැවතත් සුපුරුදු කාර්යබහුල ජීවිතයට යොමු වුනොත් එය ඔවුන්ගේ කණස්සල්ලට වගේම බලාපොරොත්තු කඩවීමක‌ට වුනත් හේතු වෙන්න පුළුවන්. මේ නිසා දෛනික වැඩ රාජකාරි අතරේම වුනත් පවුලේ අය සමඟ මොහොතක් ගත කරන්න වෙලාව වෙන් කරගැනීම ඉතා හොඳ පුරුද්දක්. නෑදෑයන්ට ඔබේ නිවසට ආරාධනා කරන්න. කල් දමන්න සිදුවුණු විනෝද චාරිකාවක් සුදුසු සෞඛ්‍ය උපදෙස් අනුව නැවත සූදානම් කරන්න. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවන්න මෙවැනි ක්‍රියාකාරකම් ඉතා වැදගත්. 

img

ඒ වගේම, ඔබේ දරුවාගේ දෛනික චර්යාවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා. ගුරුවරුන් සමඟ සම්බන්ධ වෙමින් දරුවාගේ ප්‍රගතිය ගැන විමසන්න. එමඟින් ඔබට ඔබේ දරුවාගේ අනාගතයට සහායක් ලබා දිය හැකියි. වසංගතය නිසා අසීරු කාලයක් අපි හැමෝටම උදා වුනත් දරුවන් ආතතියෙන් සහ කණස්සල්ලෙන් මුදවා ගන්නට හැකි සෑම උත්සාහයක්ම අප ගත යුතුයි. දරුවාට උපකාර කිරීමට නම් ඔබත් මනා කායික හා මානසික සුවතාවකින් සිටීම ඉතා වැදගත්. දරුවන් සමඟ ඔබේ සබඳතාව නිවැරදිව පවත්වා ගැනීම දරුවාට දිය හැකි හොඳම උත්තේජනයක්. බාහිර ලෝකය සමඟ සබඳතා ගොඩනඟා ගන්නට එය මනා රුකුලක් ද වනු නොඅනුමානයි.

උපදෙස්:

දෙමාපියන් ලෙස ඔබේ යහපත් හැසිරීම් දරුවන් කෙරෙහි ධනාත්මකව බලපාන අතර සමාජානුයෝජනය සඳහා සුදුසු අවස්ථා ඔවුන්ට හිමි කර දීමද දෙමාපිය ඔබගේ වගකීමකි.

Recommended Articles