Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

සෑම මවකටම ඉතා වටිනා සම්පතක් වන්නේ කාලයයි. කිසි විටෙකත් ප්‍රමාණවත් නොවන කාලය නමැති සම්පත තුළ දරුවන් සහ පවුලේ අය සමඟ භූමිකාවන් කිහිපයක් සිදු කිරීමට ඔබට සිදු වේ. එය ඔබට සුවිසල් අභියෝගයකි. පවුලක සතුට වෙනුවෙන් ඔබේ එදිනෙදා අත්‍යාවශ්‍ය කාර්යයන් ලැයිස්තුව පිළිබඳ සළකා බැලීමේදී ස්වයං රැකවරණය යන්න එම ලැයිස්තුවේ පහළටම වැටෙනු ඇත. 


කෙසේ වුවද පවුලේ අන් අයට වඩා හොඳ රැකවරණයක් ලබා දීම සඳහා ඔබ ගැන සැළකිලිමත් නොවීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබේ පවුලට යහපතට වඩා අයහපතක් සිදු කරන බව පැවසිය හැකිය. එසේ වන්නේ කෙසේද? ඒ අවශ්‍ය සත්කාර ලබා නොගැනීම මත වෙහෙස, ආතතිය සහ විවිධ රෝගාබාධ තත්වයන් ඇති වීමට මඟ පාදා ගැනීම නිසාවෙනි. ඔබේ දෛනික ජීවිතය හා ඔබගේ ආදරණීයයන් වෙත එල්ල විය හැකි ඒ ආකාරයේ ඍණාත්මක ප්‍රතිඵලයන් කොතෙක්දැයි අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.


එහෙයින් ඔබේ දරුවන්ට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමට ඔබ කැමති නම් මව්වරුන් තමන්ගේ පැය ගණනක් වූ දෛනික වැඩකටයුතුවලින් මිනිත්තු කිහිපයක් තමන්ගේ රැකවරණය වෙනුවෙන් කැප කළ යුතු බව මගේ යෝජනාවයි.


සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව පවුලක් දිගු කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සුවිසල් ගමනේ ආරම්භය වෙනුවෙන් උපදෙස් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

ඔබේ මානසික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න


සෑම දිනකම විවේකීව සිටීමට යම් කාලයක් වෙන් කර ගන්න. ඔබේ මානසික සෞඛ්‍යය ඔබේ පවුලේ හෙට දවස වෙනුවෙන් ඉතා වැදගත්ය. ඔබේ මනස සහ ශරීරය සැහැල්ලු කර ගැනීම වෙනුවෙන් ඔබට ගැළපෙන ක්‍රියාකාරකමක් තෝරා ගන්න. භාවනා කිරීම, යෝග ව්‍යායාම, සංගීතයට සවන් දීම හෝ පොතක් කියවීම වැනි දේ ඒ සඳහා වඩාත් සුදුසුය.


ඔබේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් වීම


ඇවිදීම, බයිසිකල් පැදීම හෝ යම් ආකාරයක ශාරීරික ව්‍යායාමයන් කරමින් ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ඔබේ එදිනෙදා වැඩ කටයුතුවලින් විනාඩි 30ක් පමණ වෙන් කිරීමට උත්සාහ කරන්න. ඒ තුළින් ඔබේ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු වනවා සේම ඊළඟ දවසේ කටයුතු සඳහා ඔබට නව ජීවයක්ද එක් කරනු නිසැකය.

දිගු කලක් ඔබෙන් ඈත්ව ගිය විනෝදාංශයක් තෝරා ගන්න


ඔබ වරක් ප්‍රිය කළ දේප ිළිබඳ සිතන්න. එය ගෙවතු වගාව, පින්තාරු කිරීම හෝ මැහුම් වැනි දෙයක් විය හැකිය. ඉන් එකක් කිරීමට දිනපතා හෝ සතියකට වරක් හෝ කාලය වෙන් කර ගන්න. මෙය ඔබේ දවසට වැඩි වටිනාමක් එක් කරනු නොඅනුමානය.

ඔබේ දවස සැලසුම් කරන්න


 ඔබ සෑම දිනකම ඉටු කළ යුතු දවසේ වැඩ සඳහා ප්‍රමුඛතාවය දීමට උත්සාහ කරන්න. එම කාර්යයන් උදේ, දහවල්, සවස සහ රාත්‍රී ලෙස එක් එක් කාල පරාසයන්ට වෙන් කිරීමෙන් ඔබේ දවස සංවිධානය කර ගන්න. ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි බොහෝ කටයුතු නිසා ඔබේ දවස අධික ලෙස කාර්ය බහුල කර ගැනීම සුදුසු නැත. එසේ වුවහොත් දවස අවසානයේදී ඔබට කලකිරීමක් හෝ දැඩි වෙහෙසක් දැනෙනු ඇත.

ඔබේ දරුවන්ට දින චර්යාවක් ලබා දෙන්න


ඔබේ දවස සංවිධානය කිරීම ඔබට වැදගත් වනවා සේම ඔබේ දරුවන්ට සුදුසු දින චර්යාවක් තිබීමද ඉතා වැදගත්ය. ඔබ සහ ඔබේ දරුවන් වෙනත් වැදගත් කාර්යයන් සමඟ කාර්ය බහුල වන විට දරුවන් ඒ මොහොතේ කළ යුතු දේ පිළිබඳව ඔබට අවබෝධයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබට යම් සහනයක් ලැබෙනු ඇත. ඔබ කලබල විය යුතු නැත. එසේ වූ විට ඔවුන්ට එළිමහන් ක්‍රීඩා කාලය, ගෙදර වැඩ කරන වේලාව, රූපවාහිනී නරඹන වේලාව හෝ තේ වේලාව ආදී දෛනික චර්යාවක් තිබීම තුළින් ඔවුන් ඒ සඳහා වගකීමෙන් කටයුතු කරමින් එම දිනය සඳහා සූදානම් වනු ඇත. ඔබ දරුවන්ගේ වේලාව තුළ වෙනත් කාර්යයන් සමඟ කාර්ය බහුල වීමේදී ළමයින්ද ඔවුන්ගේ කටයුතු වල රඳවා ගැනීමට ඔබට අමතර උත්සාහයක් දැරීමේ වෙහෙස මෙහිදී අවම වනු ඇත.

ඔබේ හැකියාවන් වර්ධනය කර ගන්න


උාහාර පිසීම, ගෘහ පාලනය වැනි ඔබගේ හැකියාවන් නව ක්‍රමයන් සමඟ තව දුරටත් වර්ධනය කර ගන්න. ඔබ වඩාත් කැමති ක්‍රීඩාවන් කිරීමට නැවත කටයුතු කරන්න එසේත් නැත්නම් ඔබ මීට පෙර වාදනය කිරීමට කැමැත්තක් දැක්වූ වාදන භාණ්ඩ වාදනය කරන්න. ඔබට වැඩි දැනුමක් ලබා ගැනීමට අවහ්‍ය ක්ෂේත්‍රයක් පිළිබඳ දැනගැනීමට පොතක් කියවන්න. අලුත් දෙයක් ඉගෙනීමට කිසි විටෙකත් ඔබ ප්‍රමාද නැත.

ඔබට ඔබම සංග්‍රහ කරන්න


ඔබේ සියලු යුතුකම් හා වගකීම් ඉටු කරන අතරම ඔබට විශේෂ සැලකිල්ලක්ද ලැබිය යුතුමය. ඒ සඳහා කතා බහ කිරීමට ඔබේ මිතුරන් හමුවන්න. මුහුණට ෆේෂල් සත්කාරයක් ලබා දෙන්න. දිගු නින්දක් ලබන්න. සාප්පු සවාරි යන්න. එසේත් නැත්නම් ඔබ තෝරාගත් විශේෂ දෙයක් කරන්න.
තමන්ගේ ගකවරණය සඳහා යම් කාලයක් වෙන් කිරීම මවුවරුන්ට අතිශය වැදගත්ය. ඒ සඳහා ඔබ මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් වෙන් කළද ඒ තුළින් ඔබට නව ජීවයක් හිමි වනු ඇත. ඉන් අත් වන හොඳම ප්‍රතිඵලය වන්නේ ඔබේ පවුලට අන් කවරදාටත් වඩාප්‍රීතිමත් හා සෞඛ්‍ය සම්පන්න මවක් ලැබීමට පටන් ගැනීමයි.
එහෙයින් ඔබ ඔබ ගැන අවධානය යොමු කරන්න. සැලකිලිමත් වන්න

Recommended Articles